Thursday, July 12, 2012

අ - කොටස ඉ.....

අමෝහ
මෝහ නම් මුලාව යි. එයින් මිදුනේ අමෝහ නම් වේ. එනම් නොමුළා වු ඤාණය යි. එය කුසල මූලයකි. චෛතසික අතර පඤ්ඤා චෛතසිකය යි.

අයස
යසසට විරුද්ධ වූයේ අයස යි. කෙනෙකු පිළිබඳ ඇති වන පැතිර යන අපකිර්තිය හෙවත් අවගුණය අයස යි. මෙය අටලෝ දහමින් එකකි. සාමාන්‍ය මනුස්සයා හෙවත් මාර්ගඵලාධිගමනයට නොපත් තැනැත්තා අවගුණය ‘පැතිර යන විට කම්පාවට පත් වෙයි‘ එහෙත් රහතන් වහන්සේලා වැනි උත්තමයෝ එබන්දකින් කම්පා නොවෙති.

අර්ධපර්යංකය
අර්ධ නම් අඩකි. පර්යංක නම් ඉඳ ගැනීම සඳහා යොදා ගන්නාවු ආසන ක්‍රමයකි.භාගයක් එරමිණියා ගොතා ඉදගන්නාවු ක්‍රමය අර්ධපර්යංකය නම් වෙයි. අඩපලඟ යන්නෙන් ගැනෙන්නේ ද මෙය යි. මෙය භාවනාව සඳහා ඉඳගන්නා වු එක් ක්‍රමයක් හැටියට භාවිතා කරන ආසන ක්‍රමයකි. කාන්තාවන්ට වඩා සුදුසු ආසන ක්‍රමය මෙය වේ.

අරහං ගුණය
අරහං යන්නෙන් සුදුසු යන අර්ථය ලැබේ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රකට ගුණ නවයෙන් මේ එකකි. එබැවින් මෙය බුදුගුණයකි. කෙලෙසුන් නැසූ හෙයින් ද,සංසාර චක්‍රයෙහි අර කැපූ හෙයින් ද, ප්‍රත්‍ය ලැබීමට සුදුසු හෙයින් ද, රහසින් වත් පව් නොකරන හෙයින් ද, බුදුරජාණන් වහන්සේ අරහං ගුණයෙන් යුක්ත ය. 


No comments:

Post a Comment