Wednesday, July 4, 2012

අ - කොටස A

පාඨශාලීය සද්ධර්මකෝෂය

අක්කෝසභාරද්වාජ


නිතර අනුනට නිග්‍රහ කරන හෙයින් මේ බමුණා අක්කෝසක නම් විය. භාරද්වාජ යනු ගෝත්‍ර නාමය යි. භාරද්වාජ නම් වු සිය සොහොයුරාගේ පැවිදි වීමත්, සිය බිරිය බුදුරජාණන් වහන්සේගේ ධර්මය කෙරෙහි පැහැදීමක් නො ඉවසු මේ බමුණා බුදුරජාණන් වහන්සේ කරා ගොස් උන්වහන්සේට නිග්‍රහ කොට නැවත ප්‍රශ්ණ අසා පැහැද මහණව රහත් වුයේ ය. ඔහු ප්‍රසිද්ධ වූයේ අක්කෝසභාරද්වාජ යන නමිනි.

අක්ඛධුත්ත
සූදූවෙහි ඇලී ගැළී සිටිම අක්ඛධුත්ත නම් වේ. මෙය අපාය මුඛ නමින් ගැනෙන, වස්තුව විනාස වන දොරටු සයෙන් එකකි. සූදූවෙහි යෙදෙන්නා කාරණා පහකින් පිරිහෙයි.
1 දිනීමෙන් සතුරන් ඇතිවීම.
2 පැරදීමෙන් පසුතැවිලි වීම.
3  වස්තුව විනාශ වී යෑම.
4 සමාජය ඔහුගේ වචන නොපිලිගැනීම.
5 ආවාහ විවාහ සදහා කිසිවකු කැමති නොවීම.
මේ කැරුණු පහයි.

අකත
‘යම් හේතුවකින් නොකල‘ යන තේරුමෙන් අකත නම්වේ. නිවනට ද නමකි. වේදනාදීන් මෙන් හේතු ප්‍රත්‍යයන්ගේ එක් වීමෙන් නො හටගත්, පහළ නොවූ, කිසිවකින් නොකළ නිවන අකත යි. මෙහි හේතු නම් පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන භූත රූප යි. කර්ම,චිත්ත, සෘතු,ආහාර ප්‍රත්‍ය යි. ලොව සියලූම වස්තූනුත් සියලුම සත්වයනුත් හටගන්නේ මේ හේතු ප්‍රත්‍ය බලයෙනි.
 නිවන අකත යන නම ලබන්නේ ඉහත සදහන් හේතුවලින් හෝ ප්‍රත්‍ය බලයෙන් හෝ නො හටගත් හෙයිනි. දිව්‍ය බ්‍රහ්ම ආදී කිසිවකු විසිනුත් නො මැවු හෙයින්ද නිවනට අකත යන නම යෙදේ.

අකිරිය වාදය
පූර්ණ කාශ්‍යපයන්ගේ වාදය යි. බුද්ධ කාලයේ තිබුණු දෘෂ්ටිවාද අතර මෙය ද එකකි. කරන පින්වලට හෝ පව් වලට හෝ විපාකයක් නැතැයි ඉගැන්වීම පිලිබද වාදය අකිරිය වාදය යි. එම වාදයට අනුව පරපණ නැසීම, මං පැහැරීම, පරඹුවන් සේවනය, බොරැකීම ආදී කිසිවකින් කිසිදු පාපයක් සිදු නොවේ.
  මහ පොලොවෙහි සියලු සතුන් එකම මස් ගොඩක් කොට සිදලූවත් එයින් පාපයක් සිදු නොවේ. ඒ කරන්නාට ඇත්තේ කරනවා යන හැගීම පමණි.
      එසේම දන්දීමෙන්, ඉන්ද්‍රිය දමනයෙන්, සංයමයෙන්, සත්‍ය පැවසීමෙන් පිනක් නම් නැත්තේ ය. මෙසේ පූර්ණ කාශ්‍යපයෝ පින, පව දෙක ම ප්‍රතික්ෂේප කළෙන් අකිරියවාදී වූහ.

අකු ධාතුව
‘අකුව‘ නම් උරහිස් දෙකේ සිට උගුර තෙක් පිහිටා ඇති ගලග ඇටය යි. බුදුරජාණන් වහන්සේගේ කායික ධාතු කොටස් අතර වම්, දකුණු අකු ධාතූන් වහන්සේලා ප්‍රධාන වෙති. මේ ධාතූන් අතර දකුණු අකු ධාතූන් වහන්සේ නිධන් කොට නිම කරණ ලද්දකි, අනුරාධපුර ථුපාරාම චෛත්‍යය.

අකුසල්
කුසල් වලට විරුද්ධ වුයේ අකුසල් ය. ඒවා ම පව් නමින් හැදින්වේ. මේවා පස්පව් හා දස අකුසල් යැයි ව්‍යයහාරයයි. පස් පව් නම් පන්සිල් වල විරුද්ධ පැත්ත යි. දස අකුසල් නම්,
1 සතුන් මැරීම,
2 සොරකම් කිරීම,
3 වැරදි ලෙස කාම සේවනය,
4 බොරුකීම,
5 කේලාම් කීම,
6 පරුෂ(රළු,නපුරු) වචන කීම,
7 නිෂ්පල අනර්ථ වචන කීම,
8 දැඩි ලෝභය,
9 අනුන් වැනසීමේ(ව්‍යාපාද) සිත,
10 වැරදි දෘෂ්ටි(මිච්ඡා දිට්ඨිය) ය.
     මෙයින් මුල් තුන කයින් ද, දෙවැනි හතර වචනයෙන් ද, තෙවැනි තුන සිතින් ද සිදුවේ. ඒ තුන්දොරින් සිදු වන අයුරු යි. බෞද්ධ පිලිවෙත් පුරන හැම කෙනෙකු ම මෙහි දැක්වෙන දස අකුසලයෙන් වැළකී සිටිය යුතු ලෙසට ම ධර්මයෙහි ඉගැන්වේ. දස අකුසල කර්ම පථ යනුවෙන් ද මේ දසය හැදින්වේ.   


අකුසල මූල
අකුසල් හෙවත් පව් කිරීම සදහා මුල් වන්නේ අකුසල මූලය යි. 
1 ලෝභය(අශාව)
2 ද්වේෂය(තරහ)
3 මෝහය(මුලාව) 
  යන මේ මූලික ක්ලේෂයන් අකුසල මූල ලෙස පිලිගැනේ. සියලු අකුසල කර්මයන් ඉහත කී  කරුණු තුන මුල්කොට කෙරෙන හෙයින් අකුසල මූලයන් මහා විෂ වෘක්ෂයකට ද උපමා කොට ඇත.

අග්ගඤ්ඤ
අග්ග යනු මුදුන හෝ උත්තම යන අර්ථ ඇත්තකි. එය දන්නේ අග්ගඤ්ඤය යි. ලෝක සම්මුතියක් වන මෙයින් ලෝකාග්‍ර බව කියැවෙයි. මුල් ස්භාවය දත් යන තේරුමින් ද අග්ගඤ්ඤ යන වචනය යෙදී තිබේ. ලොව හටගත් හැටි පෙන්වන සූත්‍රයක් ද අග්ගඤ්ඤ නමින් දීඝනිකායේ ඇත.

අග්ගික්ඛන්ධෝපම සුත්‍රය 
ගිනි කන්දක් උපමා කොට දෙසු සුත්‍රය මේ නමින් ගැනේ. බුදුරජාණන් වහන්සේ කොසොල් රට සැරිසරද්දි විශාල ගිනි කන්දක් දැක ඒ උපමා කොට මේ සුත්‍රය දෙසූහ. මෙම සුත්‍රයෙන්  කියවෙන ප්‍රධාන අදහස නම් භික්ෂුන් වහන්සේ තමාට ලැබෙන සිවු පසයට හා සත්කාර වලට සම්මාන වලට සුදුස්සකු වියයුතු බව යි. එහි ලා කරුණු හයක් සංග්‍රහ කෙරෙයි.
1 ස්ත්‍රියක වැලද ගැනීමට වඩා ගිනි කන්දක් වැලද ගැනීම මැනවි. පලමු වැන්නෙන් දෙලොවම දුක් ගෙන දේ දෙවැන්නෙන් මෙලොව පමණි.
2 දුස්සීල ව පිදුම්, ගරු කිරීම් ලබනවාට වඩා අනෙකකු තමා ඇට තෙක් මස් කිරීම ඉවසනු යෙහෙකි.
3 දුස්සීල ව අනුන්ගේ වැදුම් පිදුම් (අංජලිකම්ම) ලබනවාට වඩා පපුවට ආයුධයකින් ඇන ගැනීම ඉවසනු යෙහෙකි.
4  දුස්සීල ව දායකයන්ගෙන් ලැබෙන සිවුරු දරනවාට වඩා රත් වු යකඩයකින් පෙලනු ලැබීම ඉවසනු යෙහෙකි.
5 දුස්සීලව ඇද පුටු පරිභෝජනයට වඩා රත් වු ඇද පුටු මත හොවනු ඉවසීම යෙහෙකි.
6 දුස්සීල ව විහාර පරිභෝජනයට වඩා රත් වු සැලියක දමා තම්බනු ඉවසීම යෙහෙකි.
       මෙයින් භික්ෂුන් තුල ඇති වු තැති ගැනීම නැති කිරීමට චූලච්ඡරා සංඝාත සුත්‍රය නැවත දේශනා කරන්නට යෙදින.

අගති
යුක්ති ධර්මයට පිටුපා ක්‍රියා කිරීම අගතිය යි.
1 ඡන්දයෙන් අගතියට යෑම,
2 ද්වේෂයෙන් අගතියට යෑම,
3 භයින් අගතියට යෑම,
4 මෝහයෙන්(මුළාවෙන්) අගතියට යෑම යැයි සිවු ආකාර වේ.
කෙනෙකු භාණ්ඩ බෙදන විට හෝ යුක්තිය පසිදලන විට නෑකම් හිතවත්කම් සලකා හිමියන් අහිමියන් කෙරේ නම් ඡන්දයෙන් අගතියට යෑම යි. කෙනෙකු කෙරෙහි ඇති තරහ හෝ වෛරය හේතු කොට හිමියන් අහිමියන් කෙරේ නම් ද්වේෂයෙන් අගතියට යෑම යි. කෙනෙකු කෙරෙහි ඇති බියෙන් හිමියන් අහිමියන් කිරීම් ආදී වශයෙන් යුක්ති ධර්මයට පිටු පා ක්‍රියා කිරීම භයින් අගතියට යෑම යි. කෙනෙකු අඥානකම නිසා හෝ මුළාව නිසා හිමියන් අහිමියන් කිරීම් ආදී වශයෙන් නොකටයුතු දැ කිරීම මෝහයෙන් අගතියට යෑම යි. මෙසේ ක්‍රියා කරන්නන්ගේ කීර්තිය කළුවර පක්ෂයෙහි සද ගෙවී යන්නාක් මෙන් ක්ෂය වී යයි. එසේ අගතියෙන් ක්‍රියා නොකරන්නාගේ කීර්තිය පුරපස සද මෙන් දිනෙන් දින වැඩෙන්නේ ය. මේ අගති ගමන නැවැත්වීමට සතර සතිපට්ටාන ධර්ම වැඩිය යුතුවේ. ලෝභ ආදී ක්ලේශයන් නැසූ ආර්ය පුද්ගලයා අගති ගමනින් සපුරා වැලකි සිටියි. බුදුරජාණන් වහන්සේ ඔහු හදුන්වා ඇත්තේ අගතියට නො යන්නා (නාග) යනුවෙනි.

අචේලක
චේල යනු වස්ත්‍රය යි. වස්ත්‍ර නො දැරුවෝ  අචේලකයෝ ය. මොවුහු මිත්‍යාදෘෂ්ටික ආගමික පිරිසකි. ඔවුහු උග්‍ර තවුස් දම් රැක්කෝ ය. ඔවුන් වස්ත්‍ර නො හැන්දේ එයට තණ්හාවක් ඇතිවී තපසට බාධා වේ යැයි යන විස්වාසයෙනි. පරිබ්‍රාජක ආජීවක දෙකොටසේ ම අචේලකයෝ සිටියහ. වස්ත්‍රධාරි හා නිර්වස්ත්‍රධාරි යැයි පරිබ්‍රාජකයන් දෙකොටසක් සිටි බව ද සදහන් වේ. අචේලක නමින් වෙන ම තවුස් කොටසක් සිටි බව ද පෙනේ. නිගණ්ඨයෝ ද අචේලකයෝය. එහෙත් ඔවුන්ගෙන් කොටසක් වන ස්වේතාමිබරයෝ සුදු වත් දැරුවෝ ය. මොවුන් විවිධ ව්‍රත දැරූ බව පැහැදිලි ය. සුනඛ ව්‍රත, අජ ව්‍රත, ගෝ ව්‍රත ආදී වශයෙනි බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාවෙන් ප්‍රතික්ෂේප කළ අත්තකිලමතානුයෝගයට මෙම ව්‍රත  ද  ඇතුලත් වුවාට නිසැක ය. දුක්ඛ,අනරිය,අනත්ථසංහිත යන හැදින්වීම් එම දේශනාව තුලින් ඉදිරිපත් කෙරුණේ මොවුනගේ ප්‍රතිපදාව ගැන යැයි සිතිය හැකි ය.

අජපාල නුග රුක
එළුවන් කරන්නන් සෙවනට රැදි සිටියේ මේ නුග ගස යට නිසා මෙයට අජපාල යන නම ව්‍යාවහාරය ඇති විය. සුජාතා සිටු දියණිය බෝසතුනට කිරිපිඩු පිරිනැමුයේ මේ ගස යට දී ය. බුදුරජාණන් වහන්සේ මෙහි වැඩසිටි අතර මාරදූන්ගේ පැමිණීම ඇති වුයේ මෙහි දී ය. මහා බ්‍රහ්මයා දහම් දෙසීමට බුදුරජාණන් වහන්සේට ආරාධනා කළේ ද මෙහි දී ය. හුහුංක බ්‍රාහ්මණයා හමු වුයේ මේ සමිපයේ දී ය.බ්‍රහ්ම සූත්‍ර ආදී සූත්‍ර දේශනා ගණනක් ම දෙසීමට මෙතැන මුල් විය. බෝසතුන් වහන්සේගේ දුෂ්කර ක්‍රියා සමයෙහි එක්තරා එඩෙර ලමයෙකු විසින් මේ නුග ගස රෝපණය කළ බව මහායානිකයෝ කියති. අජපාල නම් බමුණකු මෙතැන කළ යාගයක් නිසා අජපාල වී යැයි සමහර පොතක දැක්වේ. මේ නුගරුක පිහිටියේ මහ බො මැඩට නැගෙනහිරින් නේරංජරා ගග අසබඩය.

අජ ව්‍රත
      අජ යනු එළුවාට නමි. ව්‍රත යනු පිලිවෙත යි. නොහොත් තපස යි. අජ ව්‍රත නම් එළුවෙකු මෙන් ඉරියව් පවත්වමින් රක්නා තපස යි.  එදා දඹදිව පැවති ව්‍රතයක් වු මෙයිනුදු අපෙක්ෂා කළේ විමුක්තියකි. බෝහෝ විට ආජිවක, අචේලක, පරිබ්‍රාජක, අන්‍යතීර්ථක විවිධ කොටස් අජ ව්‍රත ආදී විවිධ ව්‍රතයන්හි යෙදී ඒ තුලින් විමුක්තිය ලැබේ ය. යන විශ්වාසයෙන් ක්‍රියා කොට ඇති බව පෙනේ.

අජාත
නිවන සදහා ව්‍යවහාර වේ. ඉපදීමක් උපන් බවක් නැති (අ+ජාත) යන අරුතින් නිවනට අජාත යැයි කියවේ. සසර ගමන නිම නිසා නිවන් අවබෝධ කළ තැනැත්තා අජාත යැයි ‘අයමන්තිමා ජාති නත්ථිදානි පුනබ්බවෝ‘ යනුවෙන් බෝසණන් වහන්සේ උපන් වන ම ප්‍රකාශ කළේ තමාට යළි උපතක් නොලැබෙන බව යි. ඒ නිවන් දකින නිසාය. අජාත, අමත,යන දෙ වදන අරුත් වටහා ගැනීමට එකිනෙක  අවශ්‍ය ය. ‘අජාත‘ යනු ඉපදීමක් නැති බව යි. ‘අමත‘ යනු මරණයක් නැති බව ය. නූපන් විට මරණයක් ද නොලැබේ ම ය.

අජිත කේසකම්බල
ඔහුගේ නම අජිත ය. කෙස්වලින් කළ කම්බිලයක් දැරූ නිසා කේසකම්බල යන නම ද එකතු වි ඇත බුදුරජුන් හා සමකාලීන ෂඩ් ශාස්තෘන්ගෙන් කෙනෙකි. උච්ඡේද වාදියෙකි. කර්ම, කර්ම විපාක, මෙලොව පරලොව, මව්පියන්, පින්පව් නොතකන්නෙකි. 500ක් පමණ අනුගාමිකයන් පිරිවරා ගත් මොහු පසු කාලයේ භෞතික වාදය ප්‍රකාශ කළ තිර්තකයන්ගේ ප්‍රධානියා ලෙස පිලිගැනේ. ශරිරය මහා භූතයන්ගෙන් සෑදුනු බවත්, කලුරිය කළ විට ඒ ඒ භූත කොටස් බාහිර භූත කොටස් සමග එක්වන බවත් ඔහුගේ දර්ශනය විය. දානාදී පුණ්‍යක්‍රියා නිෂ්ඵලය යනු ද ඔහුගේ දර්ශනයට අයත් විය. නැවත ඉපදීමක් ඇති බව ඔහු ප්‍රතිඛ්ෂේප කරයි. ඔහුගේ ඉගැන්වීම් භෞතික වාදයට සේ ම අකිරිය වාදයට ද අයත් වේ.

අඤ්ඤදත්ථුහර
මිත්‍රයකු සේ පෙනී සිටින එහෙත් මිත්‍රයකු නො වන මිත්‍ර ප්‍රතිරූපකයෝ සිවු දෙනෙකි. ඔවුන්ගෙන් පළමු වැන්නා අඤ්ඤදත්ථුහර නමින් ගැනේ.  මිතුරාගෙන් කුමක්හෝ ගෙන යෑමට මිතුරුකම පවත්වන්නා යනු එහි තේරුම යි. ඔහුගේ ලක්ෂණ හතරකි.

අත්තසම්මාපණිධි
විවිධ අරමුණුවල විසිර යා නොදි සිත එක ම අරමුණක පිහිටුවා ගැනීම යි. මෙහි අත්ත යන්නෙන් ගැනෙන්නෙ සිත යි. අත්ත සම්මා සමාදිය එක් මංගල කරුණක් ලෙස මංගල සුත්‍ර‍යෙහි දැක්වේ. තමාගේ දුස්සීල  වු සිත ශිලයෙහි පිහිටුවීම ද. ශ්‍රධ්ධා විරහිත සිත ශ්‍රද්ධා සම්පම්පත්තියෙහි පිහිටුවීම ද අත්තසම්මාපණිධි වේ.

අත්තුපනායික ධර්මපර්යාය
තමා ඉදිරිපත් කොට සාධක කොට දැක්වෙන ධර්ම ක්‍රමය යි. මම ජිවත්වීමට සැපට කැමැත්තෙමි. දුකට නො කැමැත්තෙමි. ජීවත් වනු කැමති, නොමැරෙනු කැමති, සැප කැමති,දුක නොකැමැති,යමෙකුගේ දිවි තොර කරන්නේ නම් අනුනට ද එය අප්‍රිය ය. මට අප්‍රිය දැය මට අමනාප දැය අනුනට ද අප්‍රිය ය. අමනාප ය. එසේ ඇති කල්හි මා අප්‍රිය දෙයක් අනුන් සදහා කෙසේ නම් කරන්නේ දැයි නුවණින් සලකා බලා සතුන් මැරීම ආදී වැරදි දැයින් වෙන් වේ. එහි අනුසස් ද කියයි. තමා උපමාකොට දෙසු මේ ධර්ම ක්‍රමය අත්තූපනායික ධර්මපර්යාය නම් වේ.

අත්ථක්ඛායි
අර්ථයක් ම ප්‍රයෝජනවත් දෙයක් ම කියා දෙන මිතුරා අත්ථක්ඛායි නම් වේ.මේ කල්‍යාන මිත්‍රයන් සිවුදෙනාගෙන් කෙනෙකි. මෙබදු මිතුරෙක් තම මිතුරාට කාරණා සතරකින් ප්‍රධාන වශයෙන් උපකාර ව සිටියි.
1 තම මිතුරා පවින් වළකා ගනී,
2 නිතර යහපතෙහි පිහිටුවා ලයි,      
3 නොදත් දේ කියා දෙයි,
4 සග මොක් මග ද කියා දෙයි.
මේ ගුනාංගවලින් යුත් මිතුරා කළණ මිතුරකු වශයෙන් නිතර ඇසුරු කළ යුත්තෙකි.

අත්ථචරියා
කෙනෙකුගේ දියුනුවට පැවැත්මට හා දෙලොව යහපතට හේතු වන පරිදි හැසිරීම අත්ථචරියාව යි. මෙහි අත්ථ නම් ප්‍රයෝජනයය යි. චරියා නම් හැසිරීම යි. කෙනෙකු තව කෙනෙකුගෙන් බලාපොරොත්තු වන්නේ එසේ දියුනුවට හේතුවන කථාවකි. එසේම උපකාරයකි. තොප මේ දේ කටයුතු ය. මෙ බදු දේ කට යුතු ය. මෙ බදු පුද්ගලයන් ආශ්‍රය කටයුතු ය.මෙවැන්නයින් ආශ්‍රය නොකටයුතු ය.යන උපදේශාත්මක කථාව මෙන්ම දියුණුව පිණිස උදව් කිරීම ද අත්ථචරියානම් වේ. දාන, ප්‍රිය වචන, අර්ථචරියා, සමානාත්මක යන සතර සංග්‍රහ වස්තුවෙන් මේ තුන්වැන්න යි. යම් කෙනෙකුට වැඩක් යහපතක් වන ලෙස හැසිරිම අත්ථචරියා වශයෙන් කෙටියෙන් හැදින්වේ.

අත්සුණු  
හාල් බැද කුඩු කරගත් කුඩු ගිතෙල් හකුරු මී පැණි ආදියත් සමග තනා ගුලි කරගත් කල අග්ගලා නමින් ව්‍යවහාර වේ. ඒවා  හත්වට නමින්ද පැරණි පොත්වල දැක්වේ. තපස්සු භල්ලුක යන වෙළද සොහොයුරන් දෙදෙනා බුදුරජාණන් වහන්සේට පිරිනැමූ ප්‍රථම දානයට අයත් වූයේ මේ අත්සුණු හා මී පිඩු යි.

අතක්කාවචර
තක්කාවචර යනු වාද කථා බහට ඇතුලත් යනු යි. එබදු තර්කයකට හසු නොවන්නේ අතක්කාවචර යි. බුදු දහම අතක්කාවචර ය.එය උතුම් නුවණ ට ම විෂය වන්නකි. තර්කයෙන් හසුකර ගත නොහැක්කකි. බුදු දහම නුවණින්ම වටහා ගත යුත්තකි.ඒ නිසා ම එය අතක්කාවචර වේ.

අතිමානය
මාන නම් මැනීම ය. අනුනට වඩා තමා උසස් කොට මැන ගැනීම අතිමානය යි. මෙය සිත කිලිටි කරන උපක්කිලේසයකි. අතිමාන තැනැත්තා ලෝක වාසින්ට අප්‍රිය ය. අතිමානි තැනැත්තා ගරුකළ යුත්තන්ට ගරු නො කරයි. යටත් විය යුත්තන්ට යටත් නොවේ. කළයුත්ත නොකර හරී. අතිමානය ඇති වන්නේ කුල ගෝත්‍ර, රූපය,ධනවත්කම,ශිල්ප ශාස්ත්‍ර ඥානය,නිලතල ආදී කරුණු මුල් කරගෙන ය. අතිමානයෙන් තොර තැනැත්තා අනතිමානී යනුවෙන්  හැදින්වේ.   


අතුරිත චාරිකා
ඉක්මන් නැති අතුරිත චාරිකා නම් වේ. ලෝකානුග්‍රහය පිණිස ගම්, නියම් ගම්, පිලිවෙලින් පිඩු පිණිස හැසිරීම් ආදී වශයෙන් බුදුරජදුන් වඩනා ගමන අතුරිත චාරිකා ලෙස සැලකේ. මෙසේ වැඩම කරන බුදුරජාණන් වහන්සේ දඹදිව මහා මණ්ඩල, මධ්‍ය මණ්ඩල, අන්තර් මණ්ඩල යන තුනෙන් එකක වැඩම කරණ සේක. එසේ වැඩම කරන බුදුරජාණන් වහන්සේ දැක පැහැද වැදුම් පිදුම් කොට බණ අසන බොහෝ දෙනා ලෞකික ලෝකෝත්තර සැප සාදා ගනිති. ඒ ඒ ප්‍රෙද්ශවාසි මනුෂ්‍යයන් පවින් වළකා සුචරිතයෙහි පිහිටුවාලීමත්, බණ අසනු කැමැත්තන්ට ඒ ඒ තන්හි බණ දෙසීමත් මෙම චරිකාවෙන් ඉටු වේ. මෙම අතුරික චාරිකා නිබද්ධ අනිබද්ධ වශයෙන් දෙකොටසක් වේ.


අදෝස
දෝසයට විරුද්ධ වූයේ අදෝසයි, දෝස නම් සිතේ කිපෙන සුලු ගතිය යි. නොකිපෙන සුලු ගතිය අදෝස යි. මෙය කුසල්වලට මුල් වන නිසා කුසල මූලයකි.


අධර්ම චර්යා
ධර්මයට විරුද්ධ වුයේ අධර්මය යි. එහි හැසිරීම නොහොත් එබදු දැ කිරීම අධර්ම චර්යා වේ. දස අකුසල කර්ම පථයෙහි යෙදීම අධර්ම චර්යාව ලෙස ගැනේ. ඒවා විසම චර්යා යනුවෙන් ද හැදින් වේ. අධර්ම චර්යාවෙහි යෙදෙන්නා මරණින් පසු අපාගත වේ.


අධිෂ්ඨාන - අධිෂ්ඨාන පාරමිතා
මෙහි අධි යන්නෙන් යමක් මතුපිට යන අර්ථය ද ඨාන යන්නෙන් ඊට ආධාරය යන අර්ථය ද දෙයි. යම් කාර්ය සිද්ධියක් සදහා කිසියම් අරමුණක තදින් පිහිටීම අධිෂ්ඨානය යි. නිර්වාණාවබෝධය ලබා ගන්නට අධිෂ්ඨානය අතිශයින් උපකාර ධර්මයකි. කුසල ධර්මයක ස්ථිරව පිහිටි සිත විරුද්ධ ධර්මයකින් කම්පා නොවන්නේ අධිෂ්ඨානයේ බලය නිසා ය. සිරුරේ මස් ලේ වියලේවා, ඇට නහර ශේෂ වේවා ආදී වශයෙන් පුරුෂ විර්යයෙන් යුතු ව කරන අධිෂ්ඨානය අධිෂ්ඨාන පාරමිතාවට අයත් ය.බුද්ධ කාරක ධර්ම විෂයෙහි  අධිෂ්ඨානයද එකකි. දශ පාරමිතා අතර අටවැන්න අධිෂ්ඨාන පාරමිතාව යි.


අනන්ත ලක්ඛණ සුත්‍රය
ත්‍රිලක්ෂණයෙන් අනාත්ම ලක්ෂණය විස්තර වන සුත්‍ර දේශනාව අනන්ත ලක්ඛන සුත්‍රය යි. මෙය සංයුත්ත නිකායට ඇතුලත් ය.බුදුරජාණන් වහන්සේ මංගල ධර්ම දේශනාවෙන් පසු පස්වග මහණුන් උදේසා මේ සුත්‍රය දේශනා කළහ.රූපය ආත්ම නොවේ. වේදනාව සංඥාව සංස්කාරය විඥානය ආත්ම නො වේ. මේවා ආත්ම වේ නම් තම සිතැගියට අනුව ක්‍රියා කළ යුතු වේ. එසේ නොවන නිසා ආත්ම ‍ වශයෙන් ගත යුතු ද නොවේ. ඒ සියල්ල අනිත්‍ය යි. ඒ නිසා නො ඇලිය යුතු යි. නො ඇලිමෙන් සිත මිදේ. මිදීමෙන් සසර ඉපදීම නවතී. මෙසේ අනාත්ම ලක්ෂණය විස්තර කොට වදාරන ලද දේශනාව අසා පස්වග මහණහු රහත් වූහ.   


අනතිමානි
න+අතිමානි = අනතිමානි. අතිමානයට විරුද්ධ වන්නේ  අනතිමාන යි. මෛත්‍රිය වැඩීම සඳහාත් නිර්වාණගාමි ප්‍රතිපදාව පිරීම සඳහාත් තිබිය යුතු ගුණධර්මවිලින් එකකි. මේ ගුණධර්මය පිහිටි හෝ ඇති තැනැත්තා අනතිමානී නම් වේ.


අනවජ්ජ සුඛ
බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද අත්ථි සුඛ, භෝග සුඛ, අනණ සුඛ, අනවජ්ජ සුඛ යන හතරෙන් හතර වැන්න යි.
 නිවැරදි දිවි පැවැත්ම නිසා ඇතිවන සැපය අනවජ්ජ සුඛය වේ. බෞද්ධයාගේ දිවි පැවැත්ම නිවැරදි විය යුතු ය. බෞද්ධයෙකුට සිය ජීවන පැවැත්ම ගෙන යන්නට නිවැරදි මාර්ග කීපයක්ම ධර්මයෙහි පෙන්වා දී ඇත. කෘෂිකර්මය,වෙළදාම, ගව පාලනය, රාජ්‍ය සේවය ආදී වශයෙනි. තමාටත් අනුන්ටත් හානිකර වැරදි කටයුතුවලින් වැළකි නිවැරදිව පවත්වා ගෙන යන දිවි පැවැත්ම නිසා යම් සැපයක් ලද හැකි නම් නිරවද්‍ය සැපය එය යි.


අනමතග්ගිය සංයුත්ත
අනු+අමත+අග්ග
සංයුත්ත නිකායෙහි සංයුත්ත පනස් හතරින් එකකි. අනමතග්ගිය සංයුත්තය. එය සංයුත්ත නිකායේ නිදාන වග්ගයට ඇතුලත් ය. ‘අනමතග්ගෝයං භික්ඛවේ සංසාරෝ, යන ප්‍රකාශය ඇතුලත් සූත්‍ර දේශනා රැසක් ඇති කොටස අනමතග්ගිය සංයුත්ත යනුවෙන් නම් කර ඇත. එය අනම තග්ග සංයුත්ත වශයෙන්   


අනාගාමි
න+ආගාමි
පෙරළා නොඑන යන අදහස යි. මෙය තුන්වන මගඵල ලැබු පුග්ගලයා සඳහා කියවේ. ඕරම්භාගිය සංයෝජන නැති කළ හෙයින් නැවත පිළිසිඳ ගැනීමක් නැති කාම භවයට නොඑන තැනැත්තා ය. ඔහු ශුද්ධාවාස බඹ ලොව ඕපපාතික ව ඉපිද රහත් ව පිරිනිවන් පායි. එබදු අනාගාමි පුද්ගලයෝ පස් දෙනෙකි.
1. අන්තරා පරිනිබ්බායි - බඹ ලොව උපන් හැටියේ ම රහත් ව නිවන් දක්නා ආර්ය යා, ඉපදී අනතුරුව පිරිනිවන් පාන තැනැත්තා, ආයුස කෙලවර දී රහත් ව පිරිනිවන් පාන්නා යනුවෙන් තිදෙනෙකි.
2. උපහච්ච පරිනිබ්බායි - ආයුෂය සම්පූර්ණ වන්නට ආසන්නයේ දී රහත් වන ආර්ය යා.  
3. අසංකාර පරිනිබ්බායි - මද වැයමකින් කෙලෙස් නසා පිරිනිවන් පාන ආර්යයා,
4. සසංකාර පරිනිබ්බායි - වැඩි වෙහෙසකින් කෙලෙස් නසා පිරිනිවන් පාන ආර්යයා,
5. උද්ධංසෝත අකනිට්ඨගාමි - ඉහල බඹලොවවල ඉපිද රහත් වන අනාගාමි ආර්යයා.
 මෙ ලෙස අනාගාමි පුද්ගලයන් පස් දෙනෙකු ගැන ධර්මයෙහි විස්තර වේ


අනාත්ම
ආත්ම යනුවෙන් ගතහැකි දෙයක් නැති බව අනාත්මය යි. බෝහෝ ආගම්වල ආත්මයක් ඇතැයි ඉගැන්වේ. එම ආගමිකයන් ආත්ම යන්‍ නෙන් අදහස් කරන්නේ නො වෙනස්වන සදාකාලික යම් කිසිවකි. නමුත් බුදු දහමේ ආත්ම යන්නක් නො ඉගැන්වේ. එය අනාත්ම ධර්මයකි. වෙනස් වන ලෝකය තුල නොවෙනස්වන සාදාකාලික යම් කිසිවක් (ශරීරය තුළ හෝ ශරීරයෙන් බැහැර) නැතැයි බුදු දහමෙහි ඉගැන්වේ. සියලු සංස්කාර ධර්ම අනිත්‍ය, දුක්ඛ ලෙස සලකන අතර සියලුම ධර්ම අනාත්ම ලෙස ගනී. අත්ත යන ත්‍රිපිටකයෙහි ‘තමා‘ යන තේරුමෙන් යොදා ඇත. පුද්ගලයාගේ ජීවිතය සම්බන්ධයෙන් ද ප්‍රත්ක්ෂේප කිරීම සඳහා දෘෂ්ටියක් ලෙස ද අත්ත යන වචනය යොදා ඇත.


අනිබද්ධ චාරිකා
බුදුරජාණන් වහන්සේ නිශ්චිත කෙනෙකු අරමුණු කොට නොගෙන ගම් නියම් ගම් පිළිවෙලින් හැසිරීම අනිබද්ධ චාරිකා නම් වේ. විශේෂ පුද්ගලයකු අරමුණු කොට නොගෙන හමුවන හැමට සෙත සලසමින් ගම් නියම්ගම් පිළිවෙළින් වැඩමවීම යි. ධර්මාවබෝධයට තරම් නුවණ මේරූ කෙනෙකු හමුවීම සලකා ඔහු කරා වැඩීම නිබද්ධ චාරිකාවෙහි ලක්ෂණයකි. 


අනුකම්පක මිත්‍රයා
අනුන් හට පැමිණෙනදුක්වල දී හටගන්නා වු දයාව අනුකම්පාව යි. එබඳු අනුකම්පාවෙන් මිත්‍රයන්ට පිහිට වන පුද්ගලයා අනුකම්පක මිත්‍රයා ය. ඔහුගේ ලක්ෂණ හතරකි.
1. සිය මිතුරාගේ පිරිහීම නොකැමැති වීම,
2. මිතුරාගේ දියුණුවේ දි සතුටු වීම,
3. මිතුරාට දොස් කියන්නා වළකාලීම,
4. මිතුරාගේ ගුණ කියන්නාට ප්‍රසංසා කිරීම.


අනුග්‍රහ බුද්ධිය
දුගී මගී යාචකාදීන්ගේ දුක දැක ඔවුනට දක්වන අනුග්‍රහයක් වශයෙන් ආහාර පාන වස්ත්‍රාදිය පිරිනැමෙන්නේ අනුග්‍රහ බුද්ධියෙනි. අනික පුජා බුද්ධිය යි.


අනුත්තර පුරිස ධම්ම සාරථි
මෙය බුදුරජාණන් වහන්සේගේ නව ගුණයෙන් එකකි.

අනුපිපියභාණි
මිත්‍රයෙකු ලෙස පෙනි සිටිමින් සැබැ මිත්‍රෙයකු ලෙසින් ක්‍රියා නොකරන්නා අනුප්පියභාණි නම් වේ. මිතුරා කරන හොදත් නරකත් දෙක ම මැනවැයි අදහස් බල බලා අනුකූල ලෙස ප්‍රිය වචන කථා කරන, එසේ ම ඉදිරියේ දී ගුණ කියන පිටත දී අගුණ කථාකරන යහළුවා අනුප්පියභාණි මිතුරා ය. දුරු මිතුරන් හතර දෙනාගෙන් මොහුද එකෙකි.

අනුමෝදනා බණ/අනුමෙවෙනි බණ
දන්දීම ආදී පින්කමක් අවසානයේ දී පින්කම කළ පිරිසට එම පින්කම පිලිබඳ මෙනෙහි කොට සතුටුවීමට මග පෙන්වමින් කරන ධර්ම දේශනාව අනුමෝදනා බන නමින් හැදින්වේ.

අනුශාසනි ප්‍රාතිහාර්ය
අනුශාසනි ප්‍රාතිහාර්ය නම් අනුශාසනයෙන් කරන ප්‍රාතිහාර්ය යි. බලන්නවුන් විස්මයට පත් කරවන අහසේ පලක් බැඳ සිටිම ආදිය ප්‍රාතිහාර්ය නම් වේ. සෘද්ධි ප්‍රාතිහාර්ය, ආදේශනා ප්‍රාතිහාර්ය, අනුශාසනි ප්‍රාතිහාර්ය යැයි ප්‍රාතිහාර්ය තුනකි. අසන්නන් තුළ යහපත් වෙනසක් ඇතිවන ලෙස දහම් දෙසීම අනුශාසනි ප්‍රාතිහාර්ය යි. අනුශාසනි ප්‍රාතිහාර්ය අනෙක් දෙකටම වඩා ශ්‍රේෂ්ඨය.

අනුශාසක
කෙනෙකුගේ යහ මග පැවැත්ම සඳහා හොද නරක, කළයුතු නො කළ යුතු දේ කියා දෙමින් උපදෙස් දීම අනුශාසනාව යි. නැවත නැවත දෙන උපදේශය අනුශාසනා නම් වේ. ඉදිරිපත් වු හෝ නොවූ හේතුවක් මත පෙළ දහමට අනුව දෙන උපදෙස් අනුශාසනා වශයෙන් ගැනේ.


අනුස්සති
නැවත නැවත උපදනා සිහිය අනුස්සතිය යි. අනුස්සති දහයකි.
1. බුද්ධානුස්සති - බුදුරජාණන් වහන්සේගේ නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් සිහිය පිහිටුවා ගැනීම,
2. ධම්මානුස්සති- ධර්මයෙහි ගුණ මෙනෙහි කරමින් සිහිය පිහිටුවා ගැනීම,
3. සංඝානුස්සති - සංඝයාගේ ගුණ මෙනෙහි කරමින් සිහිය පිහිටුවා ගැනීම,
4. සීලානුස්සති - තමා රකින පිරිසිදු සීලය ගැන මෙනෙහි කරමින් සිහිය පිහිටුවා ගැනීම,
5. චාගානුස්සති -  තමාගේ පරිත්‍යාගශිලි බව ගැන මෙනෙහි කරමින් සිහිය පිහිටුවා ගැනීම,
6. දේවතානුස්සති - දේවත්වයට පත්කෙරෙන ගුණ ධර්ම මෙනෙහි කරමින් සිහිය පිහිටුවා ගැනීම,
7. ආනාපානසති - ආශ්වාස ප්‍රාස්වාස ගැන  මෙනෙහි කරමින් සිහිය පිහිටුවා ගැනීම,  
8. මරණසති - මරණය ගැන මෙනෙහි කරමින් සිහිය පිහිටුවා ගැනීම,
9. කායගතාසති - දෙතිස් කුණප කොට්ඨාසයන් ගැන  මෙනෙහි කරමින් සිහිය පිහිටුවා ගැනීම,
10. උපමානුස්සති -  නිවන ගැන මෙනෙහි කරමින් සිහිය පිහිටුවා ගැනීම.


අන්‍ය තීර්ථක
අන්‍ය ආගමකට හෝ ව්‍රතයකට අයත් අබෞද්ධ පැවිද්දෝ මේ නමින් ගැනෙති. විවිධ ව්‍රත දැරූ මොවුන් බුද්ධ කාලයේ විශාල පිරිසක් විසු බව ත්‍රිපිටකාගත පුවත්වලින් පැවසේ. දෙසැටක් මිථ්‍යා දෘෂ්ටිකයෝ මේ කොටසට අයත් වෙති. මෙහි තීර්ථ යන ව්‍යවහාරයට ශාසනයෙන් බැහැර අන්‍ය ලබ්දිකයන් ඇතුලත් ය. තීර්ථ යනු තොටුපල යි. එහි දෙසැට මිථ්‍යා දෘෂ්ටීන්හි ගිළෙන උඩට එන, යටට යන ආදිය කැරෙන නිසා එම මිත්‍යා දෘෂ්ටිය තීර්ථ නම් වෙයි. එම මිථ්‍යා දෘෂ්ටි ගෙන පැවිදි වුවාහු තිර්ථක නම් වෙති. ඔවුන් අන්‍ය තිර්ථක වන්නේ බුදු සමයෙන් බැහැර වු හෝ එයින් අන්‍ය වු දෘෂ්ටි ගත්තන් නිසා ය.    


අනෙකාන්තවාද
අනේකාන්ත නම් ඒකාන්තයක් නැති, අවිනිශ්චිත, වෙනස්විය හැකි බව යි. ඒ ගැන ඉගැන්වෙන වාදය අනේකාන්තවාදය යි. බුද්ධ කාලයේ තිබුණු දෘෂ්ටිවාද අතර මෙය ද එකකි. මෙය ස්‍යාද්වාදය ලෙස ද ප්‍රකටය. ජෛනයන්ගේ වාද අතර ඉතා ප්‍රකට වාදයකි. මෙම වාද ගත්තෝ යමක් ඇද්දැයි විමසු විට එක ආකාරයකින් සැලකූ විට ‘ඇතැයි‘ ද තව ආකාරයකින් සැලකූවිට ‘නැතැයි‘ ද කියා කිවහැකි යයි පවසති. නැද්දැයි ඇසු කල ද එසේම කියති. මේ නිසා එබන්දවුන්ගේ වාද පථය අනේකාන්තවාද නම් විය. යමක් මෙසේම යැයි කියා හෝ එසේ නොවේ යැයි කියා හෝ කීම ඔවුන්ට අනුචිත ද,අසම්පූර්ණ ද, අසත්‍ය ද වේ. වස්තුවක පවත්නා ධර්ම ස්භාවය අනන්ත නිසා මෙය මෙසේ යැයි කියා හෝ එසේ නොවේ යැයි කියාහෝ එකෙහෙළා පැවසිය නොහැකි ය යනු මෙම වාදය ගත්තන්ගේ තර්කය යි. එකහෙලා කියන මතයක් පළ කරන අයගේ වාදය ඒකාන්ත වාදය වේ. ඊට පටහැනි ජෛන මතය අනේකාන්ත වාදය යි. අන්‍යෙයෝ ජෛනයන්ගේ අනේකාන්තවාදය හෙවත් ස්‍යාද්වාදය අස්තිනාස්ති වාද යැයි නම් කරති. එම වාදයේ අදහස ඒකාන්ත නිශ්චිත විසදුමක් නොකරන වාදය යනු යි.  

අප්පකිච්ච
තමාගේ පමණට වඩා වැඩි වැඩ නැති බව ය. ස්වල්ප වු කටයුතු ඇත්තකු බව ය. මෙහි විරුද්ධාර්ථය බහුකිච්ච යන්න ය.

අප්පගබ්බ
සිත, කය, වචන යන තුනින් අසංවර නොවු බව ය. දරදඬු ගොරෝසු ගති පැවතුම් ඇති බව ප්‍රගල්හතාව යි. එයින් වැළකීම අප්පගබ්භතාව යි. නිද: පිරිසක් මැද සිටින විට ඒ අයට හිරිහැර වන සේ හැසිරීමෙන් වැළකි සිටිම යි.

අප්පමාද
අ+පමාද = අප්පමාද 
අප්පමාද නම් එළඹ සිටි සිහිය යි. එය ප්‍රමාදයට ප්‍රතිපාක්ෂික ය. නිතර සිහියෙන් යුක්තව විසීම අප්‍රමාදයේ ලක්ෂණයකි. මෙය නිවන් සැප ලැබීමට කාරණාවේ. කාම වස්තූන්හි නොඇලීමත්, කුසීත නොවීමත්, දෙලොවට වැඩ දායක දැයෙහි නිරත වීමත්, අප්‍රමාද තැනැත්තාගේ ලක්ෂණ යි. එබන්දහු දෙලොවින් ම නොපිරීහේ. අන්තිම බුද්ධ වචනය ද ‘අප්‍රමාදී ව කළ යුතු‘ බව යි.

අපරාජිත පර්යංකය
පර්යංකයය යනු ආසනය යි. අපරාජිත යන්නේන් පරාජිත නොවු යන තේරුම් දෙයි. වෙනත් කෙනෙකු විසින් නො පැරද විය හැකි අසුන අපරාජිත පර්යංකය වේ. බෝසතානණන් වහන්සේ බෝ මුල වැඩහුන් ආසනය හෙවත් වැඩහුන් ආකාරය මේ නමින් ගැනේ. උන්වහන්සේ බෝ මරඩ කුස තණ අටමිටක් අතුරා බෝකඳට පිට දී පෙරදිගට මුහුණලා  පලක් බැඳ මාගේ සිරුරෙහි ඇට මස් නහර ඉතිරිවැ මස්ලේ වියැළී ගියත් බුදුව විනා මේ අසුනින් නො නැගිටිමි යන ස්ථිර අධිෂ්ඨානයෙන් වැඩහුන් සේක. මරයාට පවා එම අධිෂ්ඨානය බිඳලනු නොහැකි විය. උන් වහන්සේ ඒ අරමුණ සාර්ථක වූයේය. එසේ පලක් බැඳ වැඩසිටි ස්ථානයට ද අපරාජිත පර්යංකය යන නම ව්‍යවහාර වේ. මංගල පර්යංක, අභෙද්‍ය, විර්ය පර්යංක, වර පර්යංක, බෝධි පර්යංක යන ව්‍යාපාරයන් ද මේ සඳහා යෙදේ.

අපාය
සැප නැත්තටම නැති ලොව අපාය යි. අය යන්නෙන් සැපය හෝ අභිවෘද්ධිය කියයි. එය පහව ගියේ අපාය යි. දුගති, නිරය ආදීය ද ඒ සඳහා පර්යාය වචන වේ. නිරය, සිරිසන්, ප්‍රේත, අසුර නිකාය යැයි අපාය සතරකි. එහිද මහා නිරය අටක්ද, ඔසුපත් නිරය එක්සිය අටවිස්සක් දැයි සියල්ල එක්සිය සතිසෙකි. එහි සංජීව, කාලසුත්‍ර, සංඝාත,රෞරව, මහා රෞරව, තාප, ප්‍රතාප, අවීචි යනු අට මහා නරකය යි. මෙලොව දි දශ අකුසල කර්ම පථයෙන් නොමිදුණෝ ඒ පාපකර්ම බලයෙන් ඉහත සඳහන් අපායවල ඉපදී සදහට ම දුක් විදිති. මව මැරීම,පියා මැරීම, රහතන් වහන්සේ මැරීම, බුදුරදුන්ගේ ඇඟේ ලේ සෙලවීම, සංඝයා භේද කිරීම යන පංචානංතර්ය පාපකර්ම කළවුනට නියත වශයෙන් ම දෙවෙනි භවය ඉහත සඳහන් අපායක ම ලැබේ. එහිදි කල්ප ගණන් දුක් විදීමට සිදුවේ. බේරිමක් ලැබෙන්නේ කාලාන්තරයකිනි. සමහරවිට කල්ප ගණනක් ගතවීමෙනි.

අපාය මුඛ
ඉපයු සම්පත් විනාශ වන දොරටු අපාය මුඛ නම් වේ. එ බඳු විනාශකාරි දුසිරිත් හයක් ධර්මය තුල දිස් වේ. ඒවා නම්:
1. සුරාවෙහි ලොල්වීම,
2. අවේලාවේ මහමග ඇවිදින්නකු වීම,
3. සූදූවෙහි ලොල්වීම,
4. පවිටු මිතුරන් ඇසුරැ කරන්නකු වීම,
5. විනෝදය සඳහාම කාලය මිඩංගු කරන්නකු වීම,
6. කම්මැලිකමින් කාලය ගත කරන්නකු වීම.
  මේ විෂමාචාරයන්හි යෙදුනු පුද්ගලයා ධන සම්පත් ආදීයෙන් පිරිහි අන්ත දිළින්දකු බවට පත් වුවහොත් දිළිඳුකම පුටු දැකීමට ගන්නා කවර ප්‍රයන්තයක් වුව ද අසාර්ථක වීමට හේතුවෙයි.
      පරාබව, වසල, සිගාලෝවාද සූත්‍රවල මේ පිළිබඳ විස්තර අඩංගු වේ.

අපාය සහාය
පිරිහීමට හේතුවන මිත්‍රයා අපාය සහාය මිත්‍රයා ය. ඔහු මිත්‍ර ප්‍රතිරූපකයෙකි. නොහොත් මිත්‍රයකු වෙසින් සිටින අමිත්‍රයකි. එ බන්දකු හඳුනා ගන්නා ලක්ෂණ හතරකි.
1. මිතුරා සමග රහමෙර පානයෙහි සහාය වෙයි,
2. අවේලාවෙහි විථි සංචාරය සහභාගි වෙයි,
3. නිරන්තරයෙන් ගී, නැටුම්, ගැයුම් ආදීය බැලීමට යෑම සඳහා සහාය වෙයි,
4. සූදුවෙහි සහාය වෙයි.
මෙබඳු මිතුරන් ඇසුරු කරණ කෙනෙකුට හැම අතින් ම විපත්තිකර ය. එබඳු මිතුරන් ඇසුරු කරන්නෝ දෙලොවින් ම පිරිහෙන්නෝ ය. ඒ නිසා එ බඳු මිත්‍රයන් සේ පෙනිසිටින අමිත්‍රයන් වසක් විසක් හෙයින් ද, ජීවිතයට හානිකර මාර්ගයක් හෙයින් ද දුරින් ම දුරු කළ යුතු වේ.

අප්‍රිය සම්ප්‍රයෝගය
තමා ප්‍රිය නොකරන අය අප්‍රියෝය. එනම් තමා නුරුස්නා අය යි. එබන්දවුන් හා එක් වීම අප්‍රිය සම්ප්‍රයෝගය යි.  ඇතැම් විට තමන්ගේ හිත වැඩ පිණිස ක්‍රියා කරන අය සතුරන් ලෙස කෙනෙකුට පෙනිය හැකි ය. එහෙත් නියම මිතුරා වන්නේ ඔහු ය. මෙහි අප්‍රියයන් ලෙස අදහස් කරන්නේ එවැනි අය නො වේ. කෙනෙකුගේ අනර්ථය ම කැමති වන, අහිතම කැමතිවන තැනැත්තා අප හට අප්‍රිය ය. එවැන්නෙකු හා පවත්වන ආශ්‍රය දුක් සහිත ම වේ. අප්‍රියන් හා එක් වීම දුක් සහිත යැයි දුක්ඛාර්ය සත්‍යයේ දී දේශනා කළේ එබැවිනි. තමා ප්‍රිය නොකරන දේවල් ඇසුරු කිරීමට සිදු වීම ද අප්‍රිය සම්පයෝගයට අයත් වේ.  

අභයදාන
භය නොමැති තැන අභය යි. සත්වයකුගේ මරණ බිය නැති කිරීම හා මරණයෙන් මුදවා ගැනීම අභය දානය යි. සත්වයන්ගේ ජීවත්වීමේ අයිතිය පිලිගැනීම ද හිංසාවෙන් බැහැර විම ද ජීවත්වීමේ දි ඇති වන විවිධාකාර බිය නැති කිරීම ද අභය දානයට ඇතුලත් වේ.

අභිඤ්ඤාලාභි 
අභිඤ්ඤා යනු විශිෂ්ට ඥානය යි. පඤ්චාභිඥා පසක් ද ෂඩ්භිඥා යන තන්හි අභිඥා හයක් ද වෙයි. මෙයින් පඤ්චාභිඥා බුදු සමයෙන් බැහැරව ද ලැබෙයි. එය ලෞකික යි. හය වැනි ව දැක්වෙන ආසවක්ඛය ඤාණය බුදු සමයට පමණක් විශේෂ වුවකි. එය ලොකෝත්තරය.
 ඉහත සඳහන් ලෞකික පඤ්චාභිඥා නම්
1. ඉද්ධිවිධ ඥානය - අනේක ප්‍රකාර සෘද්ධින්, එක සමූහයක් වශයෙන් මවා පෙන්වීම ආදීය,
2. දිබ්බසෝත ඥානය - කොතරම් ඈතක වුවත් කථා කරන සත්වයන්ගේ වචන ඇසීමේ ශක්ති ය,
3. චේතොපරිය ඥනය - අන්‍යයන්ගේ සිත් පිරිසිද දැන ගැනීමට ඇති ශක්තිය,
4. පුබ්බේ නිවාසානුස්සති ඥානය - පෙර භවවල උපත පිළිබඳ ව දැන ගැනීමට හැකි ඥානය,
5. චුතූපපාත ඥානය -  සත්වයන්ගේ චුතිය උත්පත්තිය පිළිබඳව දන්නා ඥානය, මෙය දිබ්බචක්ඛු ඥානය නමින් ද හැඳින්වේ. මේ පඤ්චාභිඤ්ඤාවනට ආසවක්ඛය ඥානය එකතු වීමෙන් සඩ්භිඥාව ලැබේ. සියලුම කෙලෙසුන් ඉතිරි නොකොට නසන නිසා රහත් මග ආසවක්ඛය ඥානය නම් වේ.

අභිජ්ක්ඣා/අභිධ්‍යා
අභිජ්ඣාව නම් විසම ලෝභය යි. අනුන් සතු දෙයෙහි ඇලීගෙන ඒවාට නැමුණු සිත් ඇති ව ක්‍රියා කිරීම යන අර්ථය යි. පර සන්තක වස්තූන් හි බැඳුනු තැනැත්තා ඒවා ‘මට අයත් වන්නේ නම් මැනවැ‘ යි සිතා ද එය අභිජ්ඣාවෙහි ස්වරූපය යි. අනුන් අයත් දෙයක් වීම හා එය තමනට ලැබේවා යි ප්‍රාර්ථනා කිරීම යන අංග දෙක සම්පූර්ණවීමෙන් අභිජ්ඣා අකුශලය සම්පූර්ණ වේ.

අභිධර්මය
උතුම් ධර්මය හෝ උසස් ධර්මය අභිධර්මය වේ. පරමාර්ථ දේශනාව සඳහා ද අභිධර්ම නාමය යෙදේ. විත්ත, චෛතසික, රූප, නිබ්බාන පිළිබඳ විග්‍රහ කෙරෙන්නේ අභිධර්මයෙනි. බුද්ධ ධර්මය පිටක වශයෙන් තුන් වැදැරුම් ය. විනය, සුත්‍ර, අභිධර්ම යනුවෙනි. අභිධර්ම පිටකය ග්‍රන්ථ හතක සංග්‍රහ වී තිබේ. ධම්ම සංගණි,විභංග,ධාතු කථා, පුද්ගල පඤ්ඤත්ති,කථාවත්ථු, යමක, පට්ඨාන යනුවෙනි. සංසාරයේ පැවැත්මට හේතු කාරණාත් සංසාරයෙන් මිදීමට උපාය වූ ආර්ය මාර්ගයත් පිළිබඳ යථාතත්වය විවරණය කිරීම අභිධර්මයෙන් අපේක්ෂිත කාර්ය සේ විද්වත්හු හඳුන්වති.

අභිනිෂ්ක්‍රමණය
අභි+නික්ඛමණ/අභි+නිෂ්ක්‍රමණ
ගිහි ජීවිතය හා සම්බන්ධ සියලු සම්පත් හැරදමා පැවිදිවීම සඳහා නික්මයෑම අභිනිෂ්ක්‍රමණය නම් වේ.

අභිවාදන
ගුණවත් අයට, සිල්වත් අයට, වැඩිහිටියන්ට වැදීම් පිදීම් කිරීම අභිවාදනය යි. දොහොත් මුදුන්දි වැඳිම, පසඟ පිහිටුවා වැඳීම, දණ්ඩ නමස්කාරය ආදී කීප විදියකින් අභිවාදනය කළ හැකි ය. මේ නිසා ආයුෂ, වර්ණ, සැප, බල යන අනුසස් හතරක් ලැබේ.

අභිෂේක
තනතුරකට පත් කිරීමේදි, විශේෂයෙන් රජකමට පත් කිරිමේ දි ජලය හිසමත වත් කිරීම අභිසේක යි. ඔටුනු පැළඳවීම ද අභිෂේකය ලෙස හැදින්වේ. අභිෂේක මංගල්‍ය සඳහා විශේෂ ප්‍රාසාදයක් ද ඉදි කළ බව පැරණි පුවත්වලින් දැකිය හැකි ය. ඇතැම් රජුන් රැවන්වැලි චෛත්‍යය ඉදිරියේ දී අභෂේක කොට ඇත. රාජ්‍යයට පැමිණි වර්ෂය ගණන් ගන්නේද අභිෂේකය ලැබු අවුරුද්ද මුලකොට ගෙන ය. රාජාභරණ ,කිරීටය, මඟුල් සේසත, සිංහාසනය අභිෂේකයේ දී අවශ්‍ය ම දැ ලෙස පොත්පත්වල සඳහන් වේ. ලාංකික රජවරුන් අභිසේක මංගල්‍යය පවත්වා ඇත්තේ බෙහෙවින් ම බෞද්ධ උත්සවයක ස්වරූපයෙන් බව පෙනි යනු ඇත. එම ක්‍රමය ආරම්භ වූයේ දෙවන පෑතිස් රජුගේ අභිසේකයේ සිට ය.      






    


    

   





   

  

2 comments:

  1. භුත්තානුමෝදනා යන වචනයේ තේරුම
    අනුමෙවෙනි යන වචනයේ තේරුම
    යථාවාදී තථාකාරී ගුණය තේරුම

    ReplyDelete
  2. භුත්තානුමෝදනා යන වචනයේ තේරුම
    අනුමෙවෙනි බණ යන වචනයේ තේරුම
    යථාවාදී තථාකාරී ගුණය තේරුම

    ReplyDelete