Tuesday, May 3, 2016

ආගන්තුක වත


තැනකට පැමිණ ආපසු යන්නෝ ආගන්තුකයෝ ය. ඔවුන් විසින් පිරිය යුතු වත්(පිළිවෙත්) ද ඔවුන් වෙනුවෙන් පිළිපැදිය යුතු වත් ද ආගන්තුක වත් වෙයි. විහාරාරාමවලට ආගන්තුක වශයෙන් පිටතින් පැමිණෙන භික්ෂුන් වහන්සේ විසින් කළ යුතු වත් පිළිවෙත් විනයෙහි හදුන්වා දි ඇත. මෙහි වත් යන්නෙන් ප්‍රතිපත්ති සේම කළ යුතු සත්කාර ද ගැනේ.
            පිටතින් පැමිණි භික්ෂුන් වහන්සේ මහණකමින් වැඩිමහල් නම් අසුන් පැනවීම, පා සෝදන ජලය තැබිම, පෙර ගමන් කොට පා සිවුරු පිළිගැනීම, වැදීම ආදිය නේවාසික භික්ෂුන් විසින් කළ යුතු වේ.ආගන්තුක භික්ෂූන් වහන්සේ මහණකමින් බාලයෙක් නම් පා සිවුරු තබන තැන්, වාඩිවන අසුන් පෙන්වා පානය සදහා පැන් ආදිය  සැපයිය යුතුවේ.   

ආවාසික භික්ෂුව නවක භික්ෂුවක් නම් ආගන්තුක භික්ෂුව උපසම්පදාවෙන් තමනට වඩා වැඩි මහල්ලකු නම් එක විදිහකින් ද බාලයකු නම් තව විදිහකින් ද වත් දැක්විය යුතු වේ. ආගන්තුක භික්ෂුව නවකයෙකු නම් හෝ වැඩිමහල්ලකු නම් ඔහු විසින් ද පිළිපැදිය යුතු වත් වෙනම දක්වා ඇත. විනයෙහි පෙනෙන පරිදි ආගන්තුක භික්ෂුව විසින් සැපිරිය යුතු වත් දෙසැත්තෑවක් වේ. ආවාසික භික්ෂුව විසින් සපුරාලිය යුතු වත් පන්තිසෙකි. 

ආකිඤ්චඤ්ඤායතනය


අරූප ධ්‍යාන සතරින් එකකි. විඤ්ඤානඤ්චායතනය උපදවාගත් යෝගාවචරයා(භාවනා කරන්නා) නැවත නැවත එම ධ්‍යානයට සමවදින කල මවිසින් ලබන ලද මේ ධ්‍යානයෙහි අරමුණු ඖදාරික යැයි සිතා ඊට වඩා සියුම් වු ධ්‍යානයකට වැර වඩන්නේ ආකිඤ්චඤ්ඤායතනය ධ්‍යානය ලබයි. ඒ භාවනාව වඩන යෝගාවචරයාට කිසිවක් නැත ශුන්‍යය යන ප්‍රඥප්තිය අරමුණු කොට මනෝද්වාරාවජ්ජන චිත්තය ඉපද ඒ අරමුණ ම එල්බ ගෙන භාවනා කරනුයේ කාමාවචර කුසල චිත්තයක් උපදවා එය ද නිරුද්ධ වු කල උපෙක්ඛා එකග්ගතා යන ධ්‍යානාංග දෙකෙන් යුක්ත ආකිඤ්චඤ්ඤායතන කුසල විත්තය උපදවා ගනි.

Monday, May 2, 2016

අංගුලිමාල තෙරණුවෝ


දඹදිව කොසොල් රජුගේ පුරෝහිත ගර්ග බමුණාගේ සහ මන්තානි බැමිනියගේ පුතා ය. මොහුගේ ගිහි නාමය අහිංසක ය. අකුරු කරවන වයසට පැමිණි කල්හි දෙමාවපියන් විසින් දිසාපාමොක් ඇදුරු තුමා වෙත භාර කරන ලද නමුත් ඔහුගේ දක්ෂතා නොරිස්සු පිරිසක් ගුරුවරයාට කේලාම් කියා භේද කර වූහ. කෝපාවිෂ්ඨ වු ගුරුවරයා මිනිසුන් දහසක් මරා ගුරු පුජාවක් පවත්වන මෙන් නියම කලේය. ඔහු මහ වනයට වැද මිනිසුන් මරා ඇගිල්ලක බැගින් ගෙන මාලයක් ලෙස අමුණාගෙන ගෙල පැළදියේ ය. ඒ නිසා ම අංගුලිමාල නමින් ප්‍රකට විය. බුදුරජාණන් වහන්සේ මේ භයානක පාපයෙන් ඔහු මුදාගෙන ඔහුගේම ඉල්ලීම පරිදි ඕහි භික්ෂු භාවයෙන් මහණ කර භික්ෂුවක ලෙස ආරාමයට කැදවා ගෙන ගිය සේක.

Sunday, May 1, 2016

අංගුත්තර නිකාය


අංගුත්තර නිකාය යනු සුත්‍ර පිටකයට අයත් ග්‍රන්ථයකි. අංගුත්තර සංගහ අංගුත්තර ගාම යන නම් ද මේ සදහා යෙදේ. මෙයට ඇතුළත් සූත්‍ර සංඛ්‍යාව නව දහස් පන්සිය පනස් හතරක් පමණ වෙයි. බණවර වශයෙන් එකසිය විස්සකි. නිපාත වශයෙන් එකොලොසකි. ඒවා ඒකක දුක, තික, චතුත්ත, පංචක, ජක්ක, සත්තක, අට්ඨක, නවක, දසක, ඒකාදසක වශයෙන් ගැනේ. එයින් එක එක අංගය ප්‍රකාශ වු සූත්‍ර ඒකක නිපාතය යි. අංග දෙක ප්‍රකාශ වු සූත්‍ර දුක නිපාතය යි. තික නිපාත ආදීය ද මේ පරිද්දෙනි.

අහේතුක අප්පච්චය වාදය


හේතුවක් ප්‍රත්‍යයක් නැතිව සත්වයාගේ කෙළෙසීම හා විසුද්ධිය ඇති වෙතැයි යන මතය බිහිකළ වාදය අහේතු අප්පච්චය වාදය යි. මේ වාදය ගන්නන් ප්‍රකාශ කළේ සත්වයාගේ කෙළසීමට හේතුවක් හෝ ප්‍රත්‍යයක් නැත. සත්වයාගේ විසුද්ධියට ද හේතුවක් ප්‍රත්‍යයක් නැත කියා ය. එසේ හේතු ප්‍රත්‍යය දෙකින් තොර ව සත්වයෝ  කෙළෙසෙති. විසුද්ධියටද පත්වෙති. මෙය බුදුදහමේ ඉගැන්වෙන හේතුඵල ධර්මයට පටහැනි වූවකි. වාදයක් ලෙස මේ මතය බිහි කළ ශාස්තෘවරයා මක්ඛලි ගෝසාලයෝ ය. ඔහු දක්වන්නේ සංසාර සුද්ධි වාදය යි. එම වාදයට අනුව නියමිත ආත්ම ගණන ඉපදීමෙන් පසු කිසිදු උත්සාහයකින් තොරව සසර ශුද්ධිය ලැබේ. කිසිම හේතුපල නියාමයකින් තොරව ලොව සියල්ල සිදුවෙතැයි කියු අධිච්ච සමුත්පන්න වාදය ද අහේතු අප්පච්චයවාදි ගණයට ඇතුළත් වේ. මෙය බෞද්ධ පටිච්ච සමුත්පාදයට පටහැනි ය.